
ජාතිවාදය සහ මූලධර්මවාදය ප්‍රතික්ෂේප කළ සාහිත්‍යවේදිනියක වූ තස්ලිමා නස්රීන් විසින් 1994 මාර්තු මාසයේදී ‘ලජ්ජා’ කෘතිය ලියා අවසන් කළාය. ‘ලජ්ජා’ ලියන්නට ඇය පෙළඹවූ මූලිකම කාරණාව වූයේ 1992 දෙසැම්බර් 06 වැනි දින අයෝධ්‍යාවේ බාබ්රි මස්ජිදය මුස්ලිම් දේවස්ථානය විනාශ කිරීමයි. ඉන්දියාවේදී බාබ්රි මස්ජිදය කඩා දැමීමේ ප්‍රවෘත්තියත් සමඟම, බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදී සහ මූලධර්මවාදී කණ්ඩායම් හින්දු සුළුජාතිකයින්ට සහ අනෙකුත් මුස්ලිම් නොවන සුළුජාතීන්ට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළහ. 1992 දෙසැම්බර් මාසයේ ආරම්භ වූ මෙම නොසන්සුන්තාවය 1993 මාර්තු දක්වා විවිධ ප්‍රදේශවලට පැතිර ගියේය.
හින්දුන් යනු බංග්ලාදේශයේ සිටින සුළුජාතික ආගමික කණ්ඩායමක් වන අතර, ඔවුනට මුස්ලිම්වරුන් විසින් තදබල ලෙස හිරිහැර කිරීම මුල්කරගනිමින් තස්ලිමා මෙම කෘතිය ලියා අවසන් කළේ දින හතක් වැනි කෙටි කාලයකදීය. මෙම කෘතිය ලියමින් ඇය සටහනක් තැබුවේ බාබ්රි මස්ජිදය වැනි දේවස්ථානයක් කඩා බිඳ දැමීම හේතුවෙන් බංග්ලාදේශයේ ජීවත් වන හින්දුන්ට හිරිහැර කිරීම අවමානය ගෙනදෙන ක්‍රියාවක් බවත් තමා ජීවත් වන රටේදී එවැන්නක් සිදුවීම ලජ්ජාවට පත්විය යුතු කාරණාවක් බවත් ය. 1992 දී ඇරඹුණු කෝලාහලවලට සියලු දෙනාම වගකිවයුතුය යන්න ඇගේ මතය විය. එය සාමූහික පරාජයක් බව හා එකී සාමූහික පරාජය ‘ලජ්ජා’ කෘතිය තුළින් පෙන්වීමට ඇය උත්සාහ ගත්තාය.
1993 දී බංග්ලාදේශයේදී මුද්‍රණය කරනු ලැබූ ‘ලජ්ජා’ අවාසනාවකට මෙන් මාස පහකට පසු තහනම් කිරීමට එරට රජය කටයුතු කළේය. තහනම් කරන අවස්ථාව වන විටත් ‘ලජ්ජා’ කෘතියේ පිටපත් හැටදහසක් පමණ විකිණී අවසන්ව තිබිණි. කෘතිය ප්‍රකාශයට පත් කළ 1993 වසරේ සැප්තැම්බරයේදී මූලධර්මවාදී සංවිධානයක් විසින් තස්ලිමා නස්රීන්ට විරුද්ධව ආගමික චෝදනා ඉදිරිපත් කොට ඇයගේ මරණය සඳහා ත්‍යාගයක්ද ලබාදෙන බවට පොරොන්දු විය. නමුත් ඇය ඔවුන්ගේ කිසිදු තර්ජනයකට කිසිදු විටෙක බිය නොවූවාය. ඇයගේ ස්ථිරසාර ගමන් මග අඩාළ කිරීමට කිසිදු සංවිධානයකට හෝ කණ්ඩායමකට නොහැකි විය. ඇය ප්‍රකාශ කර සිටියේ තිස් ලක්ෂයක ජීවිත පරිත්‍යාගයෙන් පාකිස්ථාන ආධිපත්‍යයෙන් මිදුණු තම රට ආගමික අන්තවාදය කරපින්නාගතහොත්, එය රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අයටද කරන නින්දාවක් බවයි.
තම ජීවිතය විනාශ කිරීමට මුල්ලාවරුන් ගන්නා උත්සාහය සාර්ථක වුවහොත්, බංග්ලාදේශයේ සියලු ප්‍රගතිශීලී ව්‍යාපාරවල අවසානය එය බව ඇයගේ අදහස විය. එහෙයින් ඇය ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ තම දේශය බේරා ගැනීමට උත්සුක වීම ඇයගේ යුතුකමක් වන හෙයින්, ඇයගේ අදහස්වලට ගරු කරන සියල්ලෝම ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට සහයෝගය ලබාදෙන ලෙසයි. කවරාකාරයෙන් වුවත් ආගමික මූලධර්මවාදයට ඇය කිසි විටෙක බිය නොවූවාය. මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා සමඟම මූලධර්මවාදය හා ජාතිවාදය පරාජය කිරීමට කටයුතු කළයුතුයැයි ඇය අදහස් කළාය. තනි පුද්ගලයකු ලෙස කටයුතු කළද ඇය කිසිදු විටෙක තමාගේ ගමන් මග වෙනස් නොකළාය.
තස්ලිමා, ‘ලජ්ජා’ කෘතිය ලියනා සමයේ සිදු වූ සත්‍ය සිදුවීම් තම කතා වස්තුවට එක්කරගනු ලැබුවද, හිතාමතාම ජීවත්ව සිටින චරිත සහ මියගිය අයට සම්බන්ධතා ඇති චරිත එක්කරගැනීමට කටයුතු නොකළාය. එහෙත් බංග්ලාදේශයේ ජාතිවාදය හෙලා දැකීම් පිළිබඳව කරුණු ඇතුළත් ලේඛනවලින් තොරතුරු ලබා ගැනීමට කටයුතු කළාය. මේ ආකාරයට ලියවුනු ලජ්ජා කෘතිය භාෂා 20 කට පරිවර්තනය වූවාය. මේ ආකාරයට ලියවුනු ලජ්ජා කෘතිය භාෂා 20 කට වැඩි ගණනකට පරිවර්තනය විය.
කාන්තාව යනු කවදත් ලෝකයේ බොහෝ තැන්වලදී, නොයෙක් ආකාරයේ තාඩන පීඩනවලට මෙන්ම සමාජය තුළද අනේකවිධ හිරිහැරවලට ලක්වන චරිතයකි. නොයෙක් සමාජ තලයන්හිදී ඇයට ඇත්තේ ඉතා අඩු පිළිගැනීමකි. සියලු කාන්තාවන් වෙනුවෙන් වනිතා විමුක්තිය මුල්කරගනිමින් ඇය සටන් කළාය. සියලු කර්තව්‍යයන් අවසානයේ ඇයට සිදුවූයේ අන්තවාදීන්ගේ දෝෂදර්ශනයට ලක්ව තම මව්බිමෙන් පිටව ජීවත් වීමටයි. 1994 වර්ෂයේදී බංග්ලාදේශයෙන් පිටව ගිය ඇය, එතැන් පටන් ස්වීඩනය, ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම ජීවත් වූ අතර, වැඩි කාලයක් ගතකළේ කල්කටා සහ නවදිල්ලියේය. මෑතකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තවදුරටත් තමන්ට බංග්ලාදේශයට යෑමට හැකි වනු ඇතැයි කියා තමා නොසිතන බවයි.