
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් සුරේෂ් සලේ මහතා,සහරාන්,රන්ජන් රාමනායක ඇතුළු පුදගලයින් ඇතුලත් කරමින් සමාජ මාධ්‍යයේ පලකල සටහනක් පහතින් දැක්වේ.
මෙත් සිතිනි,
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ඉතාම සංකීර්ණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙම ලිපිය ද විමර්ශකයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.
මින් පෙර කිසිවෙක් මා මේ පෙන්වා දෙන කරුණ ගැන අවධානය යොමු කරන ආකාරයක් දැක නැත්තෙමි. විමර්ශකයින්ට ද මෙය යොමු කරත්වා.
මම මේ පලකරන ලිපිය සම්පුර්ණයෙන් කියවා මෙහි ඇති කරුනු ගැඹුරින් තේරුම් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මම කරන කතා, කරන ප්‍රකාශ හා ලියන කරුණුවල කොටස් අඩුවෙන්(අඩක් විතර) ගෙන, ඒවා විකෘති කර, වෙනස් කර, වැරදි අර්ථයක් ලැබෙන සේ සකස් කර ප්‍රසිද්ධ කිරීමට සැලසුම්සහගත ක්‍රියාවක් ද සිදුවෙමින් පවතින අතර විවිධ අපහාස කල්ලි තමන්ගේ අන්තර්ජාල මෙවලම් ප්‍රසිද්ධ කර ගැනීමට යොදා ගනිති.
කිසිදු අපරාධකරුවෙකු නිදහස් කරන ලෙස හෝ, කිසිදු අපරාධකරුවෙකු බේරාගන්නා ලෙස හෝ, නැතහොත් කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් නොකර අත්හරින ලෙස මම කිසිවිටෙකත් පවසා නැත.
අප අවධාරණය කරන්නේ කවුරුන් හෝ කිහිපදෙනෙකු පැවසූ මනඃකල්පිතයන් හා අසත්‍ය පදනම් කරගෙන හෝ නැතහොත්, 2016 වසරේ රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථනයෙන් කතා කර කුමන්ත්‍රණය කළ පුද්ගලයා තමාගේ පෞද්ගලික වෛරය හා පලිගැනීමක් පිරිමසා ගැනීම සඳහා සිදුකරන කුමන්ත්‍රණ න්‍යායන් සත්‍ය යැයි විශ්වාස කරමින්,වැරදිකරුවන් නොවන, කොටි බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න සේවයක් කරපු, වරදක් ඔප්පු වී නැති පුද්ගලයන් වැරදිකරුවන් යැයි හංවඩු ගසමින් පෞද්ගලික පළිගැනීම් පිරිමසාගැනීම සිදු නොකල යුතු බවයි.
රන්ජන් රාමනායක සමඟ දුරකථනයෙන් කතා කර 2016 වසරේ සුරේෂ් සලේ ට එරෙහිව කුමන්ත්‍රණය කළ තැනැත්තාට සුරේෂ් සලේ මහතා සමඟ පෞද්ගලික වෛරයක් තිබේ නම්, ඔවුන් එය පෞද්ගලික වෛරයක් ලෙස විසඳා ගත යුතුය. අවශ්‍ය නම් දෙදෙනාම බොක්සිං තරඟයක් සදහා සුදානම් වී එය කර ගැනීම රටට හිතකරය.
නමුත් එම පලිය පිරිමසා ගැනීම සඳහා 300 කට ආසන්න පිරිසක් අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනතකට හැරවීම නොකරන්න.
මෙවැනි මහා ඛේදවාචකයක් ඔබගේ ආත්මාර්ථකාමීත්වය (Ego) වෙනුවෙන් භාවිත කිරීමත්, රටේ නීති පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජනාධිපතිවරයාව සහ රජය මුලා කිරීමට උත්සාහ කිරීමත් මහා අපරාධයකි.
ඒ වෙනුවෙන් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනතාව රැවටීම, මහජන මතය වෙනතකට හැරවීම සහ ජනතාව අතර වෛරය වැපිරීම මහා අපරාධයකි. විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම ප්‍රහාරය සහරාන් සමඟ එක්ව සැලසුම් කළ බව පවසන අයගෙන් ප්‍රශ්න කිහිපයක් පමණක් ඇසීමට මම කැමැත්තෙමි.
ප්‍රශ්න රාශියක් ඇත,
එසේ වුවද පැහැදිලිව පිළිතුරු දීමට පහසු වීම සඳහා දැනට මෙම ප්‍රශ්න කිහිපය පමණක් ඇසීමට කැමැත්තෙමි.
සහරාන් යනු උපතේ සිටම සුරේෂ් සලේ විසින් නිර්මාණය කරන ලද අයෙකු නොවේ.ඔහු 2005 වර්ෂය අවසන් වන විට කාත්තන්කුඩි හි පිහිටි ජාමියතුල් ෆලාහ් නැමැති මද්‍රසාවේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී, ඔහුගේ ගුරුවරුන් සමඟ ඇති වූ ආගමික මතභේද ගැටුම් හේතුවෙන් එතැනින් නෙරපා හරින ලද අයෙකි. පසුව මස්ඌදියා නැමැති කුඩා මද්‍රසාවකින් තම මවුලවි අධ්‍යාපනය සම්පූර්ණ කර මවුලවි සුදුසුකම් ලැබූ මවුලවිවරයෙකු බවට පත්වෙයි. යාඥා කරන අවස්ථාවේදී අත්තහියාත් හෙවත් තෂහ්හුද් නම් බිම වාඩිවී සිටින තත්ත්වයේ සිටින විට, දකුණු අතේ දබරැඟිල්ල සෙලවිය යුතුද, නැතහොත් දිගු කළ යුතුද යන මාතෘකාව යටතේ, ඊජිප්තුවේ ඉගෙනුම ලබා උපාධිය ලැබූ ආචාර්ය අෂ්රෆ් නැමැත්තා සමඟ විවාද කර ජයග්‍රහණය කිරීමත් සමග සහ්රාන් ප්‍රසිද්ධියට පත්විය.
ඉන් අනතුරුව දාරුල් අදර්, SLTJ(ශ්‍රී ලංකා තව්හීද් ජමාත්) ඇතුළු තවත් TJ(තව්හීද් ජමාත්) සංවිධාන රැසක් සමඟ එක්ව කටයුතු කල සහරාන් තමන් වෙනුවෙන්ම වූ සංවිධානයක් ලෙස NTJ(National Thowheed Jamaath) නිර්මාණය කරගනියි, ඒ සඳහා වෙනම පල්ලියක් පවා කාත්තන්කුඩි හි පිහිටුවා ගනියි. මේ සියල්ල සඳහා ඔහුට මුදල් ලැබුණේ කෙසේද? සහ්රාන් සමඟ සිටියේ කවුද? මේ රටේ ප්‍රමුඛතම කුළුබඩු අපනයනකරුවෙකු වන JVP ඊබ්‍රාහිම් හාජියාර් ගේ පුත්‍රයන් ය.
ඔවුන් සහ්රාන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කළ බව රවී සෙනවිරත්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.
2010 දශකයේ මුල් භාගයේදී විදේශයන්හි ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේ කටයුතු (දඃවා) සඳහා, සහරාන් අනුගමනය කළ ධනවතුන් විසින් ඔහුව කිහිප වතාවක්ම විදේශගත කරවා ඇත.
ඔහු මාස කිහිපයක් ජපානයේ රැඳී සිටිමින් එහි ඉස්ලාමීය ප්‍රචාරණ කටයුතුවල නිරත වී තිබේ. සහරාන් තමන්ගේම වියදමින් ජපානය වැනි විදේශ රටවලට කැඳවාගෙන ගොස්, මාස ගණන් එහි නවාතැන් පහසුකම් සපයමින් ඔහු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට තරම් විශාල ධනස්කන්ධයක් හිමි ධනවතුන්ගේ සහයෝගය සහරාන් ලැබී තිබුණි. එපමණක් නොව, ඉබ්‍රාහිම් හාජියාර්ගේ මුදල්ද සහරාන් වෙනුවෙන් සූදානමින් තිබී ඇත.
මිල අධික වාහන, එකකට වඩා වැඩි රහසිගත නවාතැන්පොළවල්, නිවාස, ගබඩා කාමර මේ සියල්ලම තිබී ඇත. මේ තරමට මුදල් වියදම් කළේ ජවිපෙ (JVP) ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් හාජියාර්ගේ පුත්‍රයන් ය. එවැනි කෝටිපතියන්ගේ රැකවරණයේ සිටි සහ්රාන්ගේ පවුලේ අයට කෑමට මුදල් නැතැයි කියා, බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන්, අසාද් මවුලානාට පවසා සුරේෂ් සලේ මාර්ගයෙන් රුපියල් පනස් දහසක මුදලක් ද, සහරාන්ගේ මල්ලි ඇතුළු පවුලේ අයව ඇප මත නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද සූදානම් කර දුන් බව කියනු ලැබේ.
කෝටි ගණනින් මුදල් වියදම් කරනවා පමණක් නොව, තම ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සුදානම්ව සිටි කෝටිපතියන් දෙපසින් සිටියදී, එදිනෙදා වියදමට රුපියල් ලක්ෂ දෙකහමාරක් නොමැතිව සහරාන්, සුරේෂ් සලේගේ දෑස් දෙස බලා හිඟන්නෙකු මෙන් සිටියේය යන කතාව විශ්වාස කළ හැකි එකක්ද?
මෙවැනි කතා පවසා මේ රටේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා මදිවාට, ජනාධිපතිවරයාවද රවටා රැඳවුම් නියෝග සඳහා දෙවැනි වරටත් අත්සන් ලබාගෙන ඇත.
කුරානයට පසුව ඉස්ලාම් ආගමේ ඇති වැදගත්ම ග්‍රන්ථය වන්නේ සහීහුල් බුහාරි හදීස් ග්‍රන්ථයයි. එහි පළමු හදීසයේ දැක්වෙන්නේ "ඉන්නමල් අහ්මාලු බින් නිය්යාත්" යනුවෙනි, එනම් සියලු ක්‍රියාවන් තීරණය කරනු ලබන්නේ චේතනාවන් මත පදනම්ව අල්ලාහ් දෙවියන් විසින් යන්න මෙහි අර්ථයයි.
සහරාන් සමඟ අට දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරනවා, දෙවන අදියර ලෙස 17 දෙනෙකු තම ජීවිත නැති කරගන්නවා.
මොවුන් ගෝඨාභය ජනාධිපති විය යුතු යන චේතනාවන් ද තම ජීවිත පූජා කළේ?
සහ්රාන් එලෙස ජීවිතය පූජා කළේ නම් ඉස්ලාම් ආගමික විශ්වාසයට අනුව ඔහුට කන්‍යාවන් 72 දෙනෙකුද ලැබෙනඑක කොහොම උනත් ස්වර්ගයට පවා යාමටද නොහැකිය.
ඒ වෙනුවට ඔහුව හා අනිත් අයව මුහුණ බිමට හරවා කකුලෙන් ඇදගෙන ගොස් නිරයට ඇද දමනු ලැබේ.
සහීහුල් මුස්ලිම් ග්‍රන්ථයේ 1905 වන හදීසයේ පවසන්නේ කුමක්දැයි ඔබ දන්නවාද?
අබු හුරෙයිරා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසනු මට ඇසුණි: විනිශ්චය දිනයේදී ප්‍රථමයෙන්ම තීරණයක් ගනු ලබන මිනිසා (ඔහුගේ නඩුව) වනුයේ ජිහාද් හිදී දිවි පිදූ (වීරයෙකු ලෙස) මියගිය මිනිසෙකි. ඔහුව (අල්ලාහ්ගේ විනිශ්චය ආසනය ඉදිරියට) පමුණුවනු ලබයි. අල්ලාහ් ඔහු වෙත ලබා දුන් ආශිර්වාදයන් ඔහුට මතක් කර දෙනු ඇත, ඔහු ඒවා පිළිගනු ඇත (සහ තම ජීවිතයේදී ඒවා භුක්ති විඳි බව පිළිගනු ඇත). (එවිට) අල්ලාහ් විමසනු ඇත: ඔබ (මෙම ආශිර්වාදයන්ට ප්‍රතිඋපකාර ලෙස) කුමක් කළෙහිද? ඔහු පවසනු ඇත: මම මියයන තුරුම ඔබ වෙනුවෙන් සටන් කළෙමි. අල්ලාහ් පවසනු ඇත: ඔබ බොරු කියන්නෙහිය. ඔබ සටන් කළේ ඔබව "ධෛර්යවන්ත රණශූරයෙකු" ලෙස හැඳින්වීම සඳහාය. ඔබව එලෙස හඳුන්වනු ලැබීය. (ඉන්පසු) ඔහුට එරෙහිව නියෝග නිකුත් කරනු ලබන අතර, ඔහුව මුහුණ බිමට හරවා කකුලෙන් ඇදගෙන ගොස් නිරයට ඇද දමනු ලැබේ.
සහරාන් දැන දැනම ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කිරීම සඳහා ජීවිතය පූජා කර තිබිය හැකිය ද?
යමෙකු සහරාන්ව වැරදි මඟකට යොමු කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැස්වූයේ නම්,
එසේ සැලසෙන තැනැත්තා සහරාන්ටත් වඩා ලොකු ඉස්ලාම් භක්තිකයෙකු සහ ආගමික දැනුමක් ඇති වහබ්වාදියෙකු විය යුතුය. සුරේෂ් සලේ මහතා දෙස බැලූ විට එවැනි කෙනෙකු ලෙස පෙනේද?
අඩුම ගානේ දිග රැවුලක්වත් වවලා නැති ෆුල් ෂේව් ඉන්න සුරේෂ් සලේව තම ආධ්‍යාත්මික නායකයා සහ ආගමික මාර්ගෝපදේශකයා ලෙස අරන් තම ජීවිත පූජා කරන තරමට සහරාන් සහ අනිත් අය මෝඩයෝ ද?
සුරේෂ් සලේ වැනි අයෙකු විශ්වාස කර අල්ලාහ් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා යන චේතනාවන් ප්‍රහාරයක් එල්ල කළ හැකි තරමේ ඉස්ලාම් ආගමික දැනුමක් නොමැති අයෙක්ද සහරාන් ?
සුරේෂ් සලේ පුත්තලමේදී සහරාන් සහ තවත් 6 දෙනෙකු 2018 වසරේ පෙබරවාරි මාසයේදී වණාතවිල්ලුව ලැක්ටෝවත්ත පොල් වත්තේදී මුණගැසුණු බව අසාද් මවුලානා දුන් සාක්ෂිය සීඅයිඩිය (CID) විශ්වාස කරමින් සිටියි.
නමුත් 2019 වසරේ ජනවාරි මාසයේදී එම පොල් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මොහොමඩ් මුෆීස් (Mohamed Mufeez) සහ මොහොමඩ් හමාස් (Mohamed Hamaz) එවැනි හමුවීමක් සිදු වූ බව කොතැනකවත් පවසා නැත.
මොහොමඩ් මුෆීස් යනු එහි අයිතිකරුය. ඔහු ජමාතේ ඉස්ලාමි ශිෂ්‍ය ඒකකයට අයිති කෙනෙකි.
2018 වසරේ පෙබරවාරි මාසයේදී සලේ මැලේසියාවේ සිටි බවට තොරතුරු තිබේ. එකල තිබුණේ යහපාලන රජයයයි.
ශානි සහ රන්ජන් රාමනායක දුරකථනයෙන් කතා කර කුමන්ත්‍රණය කර දඬුවම් ස්ථානමාරුවක් ලෙසයි සුරේෂ් සලේව මැලේසියාවට යවන්නේ.
යුධහමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස සිටි අයෙකුව තානාපති කාර්යාල ආරක්ෂක නිලධාරියෙකු වැනි සුළු තනතුරකට පත් කිරීම දඬුවම් ස්ථානමාරුවකි.
දඬුවම් සදහා මාරුවකට ලක් වූ අයෙකු යහපාලන සමයේ රහසිගතව ලංකාවට පැමිණ ගියේ නම් එම ආණ්ඩුව නිකම් සිටීවිද?
මැලේසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ රහසිගතව රට තුළට පැමිණ පිටව යාම පවා සොයා ගැනීමට නොහැකි තරම් දුර්වල මට්ටමකද එකල CID හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ ශානි සහ රවී සිටියේ ?
ඒ මදිවට, ශානිට සුරේෂ් සලේ සමඟ පෞද්ගලික පළිගැනීමේ චේතනාවක්ද තිබුණි ද?
ඊටත් වඩා වැදගත් කරුණ නම් 2018 පෙබරවාරි මාසයේදී එම වත්තේ නිවසක් නොතිබීමයි (Imam Committee Report). 2019 ජනවාරි මාසයේදී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් නිවස ඉදිකර ඇත්තේ ඊට මාස 5 කට පෙරය, වසරකට පෙර එය එහි තිබී නැත.
දැන් එම පොල් වත්තේ අයිතිකරු වන මොහොමඩ් මුෆීස්ව, සලේ ට එරෙහිව බොරු සාක්ෂි දීමට සූදානම් කිරීමට උත්සාහයක් පවතින බවටද ආරංචියක් ඇත. එය සත්‍යයක් නම් ඒ පිළිබඳව අප අවධානයෙන් (විමසිල්ලෙන්) සිටිය යුතුය.
දිගු කලක් තිස්සේ දලුලා වැඩුනු මේ උම්මත්තක ආගමික අන්තවාදය හේතුඵල න්‍යායෙන් දකිත්වා.
මම
ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවෝ
2026/6/14