
2026 ජුනි 14 දින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තැබූ ෆේස්බුක් සටහන පහත පරිදි වේ.
"විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සාලේ මහතාට එරෙහිව අධිකරණයට චෝදනා ඉදිරිපත් නොකර, ජනාධිපතිවරයාගේ නියෝගය මත අත්අඩංගුවට ගෙන වධහිංසාවලට ලක් කිරීමට එරෙහිව මම හඬ නැඟුවෙමි.
ඔහු මුස්ලිම් ජාතිකයෙකු බව ද මම එහිදී සඳහන් කළෙමි.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු, හජ්ජුල් අක්බර් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මම ඔහු වෙනුවෙන් හඬ නොනැඟුවේ මන්දැයි ප්‍රශ්න කර තිබුණි.
මේ රට තුළ අන්තවාදය සහ ‘හාකිමියත්’ චින්තනය ප්‍රචාරය කළ, ජිහාඩ් පුහුණුව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් විදේශගත කළ සංවිධානයක නායකයෙකු අත්අඩංගුවට ගැනීම මම හෙළා දැකිය යුත්තේ ඇයි?
මම අදටත් කියන්නේ ‘ජමාතේ ඉස්ලාම්’ යනු තහනම් කළ යුතු සංවිධානයක් කියලා.
මේ සංවිධානය තහනම් නොකිරීම හින්දා අපි ගෝඨාභය රජය සමඟ පවා මතභේද ඇති කරගෙන ගත්තා
ඊළඟට, කුරාන් පරිවර්ත්තන පිටපත් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇත.
එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබියට හජ් වන්දනාවේ ගිය ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ලේකම් අර්කම් නූරාමිත් මහතාව රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බවට වාර්තා පළවෙනවා.
කුරානය යනු ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයයි.
කුරානය යනු කිසිදු වෙනස්කමකින් තොර එකම එක ග්‍රන්ථයක් යන්න පොදු විශ්වාසයයි. නමුත් ලෝකය පුරා කුරානයේ විවිධ පිටපත් පවතී. ඒවා අතරින් ‘හෆ්ස්’ (Hafs) සහ ‘වර්ෂ්’ (Warsh) යනු පොදුවේ පිළිගත් පිටපත් වර්ග දෙකකි.
හෆ්ස් සහ වර්ෂ් කුරාන් පිටපත් අතර සැලකිය යුතු වෙනස්කම් තිබේ.
අකුරු සහ උච්චාරණවල පමණක් නොව, ඇතැම් වචනවල පවා පරස්පරතා පවතී.
ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ ‘හෆ්ස්’ වර්ගයේ කුරානයයි.
කුරානය පවතින්නේ අරාබි භාෂාවෙනි. කුරානය මඟින් විවිධ කාල වකවානුවලට අදාළ විවිධ කරුණු පිළිබඳව කතා කරයි.
යුද්ධ කිරීම, දුටු තැන ඝාතනය කිරීම, ෂරියා දඬුවම් පැමිණවීම, දෙවියන් වන්දනා කිරීම, අවංකව කටයුතු කිරීම, ව්‍යාපාරවලදී වංචා නොකිරීම, බොරු නොකීම සහ ඉස්ලාමීය රාජ්‍යයක් පාලනය කිරීම වැනි විවිද වර්ගයේ මාර්ගෝපදේශ මෙන්ම ඉතිහාස කතා ද එහි ඇතුළත් වේ.
උදාහරණයක් ලෙස, කුරානයේ 5 වන පරිච්ඡේදයේ 21 සිට 26 දක්වා ඇති වැකිවලින් කියවෙන්නේ අල්ලාහ් දෙවියන් විසින් ඉශ්‍රායෙල් දේශය යුදෙව්වන්ට පොරොන්දු වී ලබා දුන් බවයි.
කුරානය මෙවැනි කරුණු රැසක් ගැන කතා කරයි. මෙලෙස කතා කරන සියලුම කරුණු අපේ රටට සහ වත්මන් කාලයට ගැළපෙනවා යැයි කිව නොහැක.
උදාහරණයක් ලෙස, 9:5 වැකිය අද වන විට ශ්‍රී ලංකාවට කිසිසේත්ම ගැළපෙන්නේ නැත.
එබැවින්, කුරාන් පරිවර්තන සම්බන්ධයෙන් ගත් කල විවිධ මතභේද සහ ආරක්ෂක තර්ජන පවතී.
කුරානයේ මූලික භාෂාව අරාබි භාෂාවයි
කුරානය පාරායනය කරන විට එහි ඇති සෑම අකුරකටම පුණ්‍යකර්ම (පින්) දහය බැගින් අල්ලාහ් දෙවියන් ලබා දෙන බව ඉස්ලාම් ආගමේ (හදීස්) සඳහන් වේ.
මෙය අරාබි භාෂාවට පමණක් අදාළ වන අතර, පරිවර්තන සඳහා අදා ගල වන්නේ නෑ.
අරාබි භාෂාවෙන් ඇති කුරානය ශ්‍රී ලංකාවේ කිසිවෙකු තහනම් කර නැත.
කුරානය පාරායනය කරන ජනතාව සඳහා අරාබි භාෂාවෙන් යුත් කුරාන් පිටපත් ප්‍රමාණවත් තරම් ලංකාවේ තිබේ.
ඒවා අලුතින් ගෙන්වාගන්නත්, මුද්‍රණය කරනන්ත් කිසිම තහනමක් නැත.
මෙහි ඇති මතභේදය, ගැටලුව සහ ආරක්ෂක තර්ජනය පවතින්නේ පරිවර්තන සම්බන්ධයෙනි.
ඇතැම් පරිවර්තනවල මුස්ලිම්වරුන් අන්තවාදය දෙසට යොමු කරවන ආකාරයේ වචන සහ වැකි භාවිත කර පරිවර්තනය කර තියෙනවා.
ශ්‍රී ලංකාවේ භාවිත කරන අරාබි භාෂිත ‘හෆ්ස්’ කුරානයේ කිසිම වෙනසක් නැත, බොහෝ මුස්ලිම් රටවල භාවිත වන්නේ ද එයම ය. නමුත් පරිවර්තන එසේ නොවේ.
දෙමළ භාෂාවෙන් පමණක් මේ වන විට පරිවර්තන හතළිහක් (40) පමණ ඇත.
සිංහල භාෂාවෙන් පරිවර්තන දහයක් (10) පමණ තිබේ.
ගැටලුව පවතින්නේ මෙම පරිවර්තන තුළයි. එකම එක අරාබි භාෂිත ‘හෆ්ස්’ කුරානයකට වෙනස් දෙමළ පරිවර්තන හතළිහක් අවශ්‍ය වන්නේ ඇයිද යන ප්‍රශ්නය පැනනැඟීම සාධාරණය.
ප්‍රධාන ගැටලුව පවතින්නේ මෙතැනයි
විවිධ අන්තවාදී සංවිධාන,
දේශකයින්, සහ පරිවර්තකයින් තමන්ගේ ප්‍රතිපත්තිවලට, අන්තවාදී මතවාදයන්ට සහ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි විවිධ අයුරින් මෙය පරිවර්තනය කර තිබෙනවා.
මෙම පරිවර්තන බොහොමයක ඇති කරුණු, වචන සහ වැකි ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත්ම ගැළපෙන්නේ නැත.
එබැවින්, ඇතැම් පරිවර්තනවල ඇති භයානක කරුණු හේතුවෙන් කුරාන් පරිවර්තන රට තුළට ගැනීමට අවසර නොදීම, කුරානය තහනම් කර ඇති බවක් පෙන්වීමට උත්සාහ කිරීම අසත්‍යයකි.
ශ්‍රී ලංකා රජය සුදුසු ඉස්ලාමීය විද්වතුන් සමඟ එක්ව,
ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි එකම එක කුරාන් පරිවර්තනයක් සකස් කර,
එය පමණක් රට තුළ අනුමත කිරීම මෙම ගැටලුවට ඇති නිවැරදි විසඳුමයි.
ඉස්ලාමයේ තුන්වන කලීෆා වරයා වූ උස්මාන් තුමාගේ පාලන සමයේදී අරාබි භාෂාවෙන් විවිධ කුරාන් පිටපත් තිබූ අතර එය විශාල මතභේදයකට තුඩු දුන්නේය. එබැවින් එදා පාලකයා වශයෙන් ඔහු විශේෂ කමිටුවක් පත් කර, ඔවුන්ගේ නිර්දේශය මත එකම එක කුරාන් පිටපතක් පමණක් අනුමත කළේය.
එම කුරාන් පිටපත හැර අනෙකුත් සියලුම කුරාන් පිටපත් ඔහු ගිනිබත් කළේය.
අරාබි මූලාශ්‍ර කුරානය සම්බන්ධයෙන් උස්මාන් තුමා ආදර්ශවත්ව කළ ක්‍රියාව, දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල පරිවර්තන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද කළ යුතුය.
කුරාන් පරිවර්තනයට වඩා භයානක තවත් කරුණක් තිබේ.
ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතු අන්තවාදී අදහස් දරන්නන් 300කගේ පමණ ලේඛනයක් ආරක්ෂක නිලධාරියෙකු විසින් ලබා දුන් අවස්ථාවේදී,
තමන් උපක්‍රමශීලීව එම ක්‍රියාවලිය අක්‍රිය කළ බව මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඒ.බී.එම්. අෂ්රෆ් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ඔහු ‘නලීමි’ (Naleemi) වරයෙකු වන අතර, දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැදගත් තනතුරක් දරයි. මෙය ඉතා භයානක ක්‍රියාවකි.
තහනම් කළ යුතු භයානක ඉස්ලාමීය විද්වතුන් කිසිවෙකු ශ්‍රී ලංකාව තුළ තහනම් කර නැත.
අෂ්රෆ් වැනි නලීමිවරුන් එය උපක්‍රමශීලීව වැළැක්වූයේ දැයි ප්‍රශ්න කිරීමට සිදුව ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි බව ප්‍රකාශ කළ යූසුෆ් අල් කර්ලාවී,
එය පරිවර්තනය කර ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කළ හජ්ජුල් අක්බර්, ‘හාකිමියත්’ ප්‍රතිපත්තිය නිර්මාණය කළ මවුලානා මවුදූදි, අන්තවාදී ප්‍රතිපත්ති ප්‍රචාරය කළ සෙයියිඩ් කුතුබ් සහ හසනුල් බන්නා වැනි අන්තවාදී, භයානක අදහස් සහිත කිසිවෙකුගේ පොත්පත් හෝ දේශන මෙතෙක් ශ්‍රී ලංකාව තුළ තහනම් කර නැත.
තවත් බෝම්බ ප්‍රහාරයක් සිදුවන තුරු නිද්‍රාශීලීව නොසිට, මෙම කාර්යය වහාම කළ යුතුය.
මෙයට
ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ
2026/6 /14

