
සෞදි අරාබියේ මක්කම නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ අශෝභන ක්රියාවල නිරත වූ බවට වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මරණ දඬුවමට ලක් කර තිබෙනවා.
සෞදි අරාබියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනය කර ඇත්තේ නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිටි අක්තාර් නමැති බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා මෙලෙස මරණ දඬුවමට ලක් කළ බවයි.
මක්කම නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ අශෝභන ක්රියාවල නිරත වූ බවට ලැබුණු තොරතුරු මත ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලින් පසු ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී වරදකරුවන් බවට තීරණය කර මරණ දඬුවම නියම කර ඇති බව සෞදි පුවත් ඒජන්සිය වාර්තා කළා.
ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ විනිසුරුවරයාගේ අභිමතය පරිදි නියම කළ හැකි දඬුවමක් වන ‘තආසීර්’ යටතේ මෙම මරණ දඬුවම් නියම කර තිබෙනවා.
අදාළ අධිකරණ තීන්දුව තහවුරු කිරීමෙන් සහ රාජකීය නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව දඬුවම් ක්රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
මූලාශ්රය - GULF NEWS